රාස්සව කන්දේ යක්කු

රාත්‍රියේ පටන් ඇදහැළුණු වර්ෂාව තවමත් ඇදහැලෙමින් වෙයි. නිනව්වක් නොමැතිව ඒ මේ අත දිව යන සිත පාලනය කර ගැනීමට හශාන් වෙහෙස දැරුවේ ඊයේ දහවල් පටන් ය. රශ්මි අවසන් වරට එය කෙටි පණිවිඩය කියවූ  වාර ගණන ඔහුට මතක නැත. කොපමණ බැලුවත් රිද්දන්නේ තම සිත පමණක් බව දැනුනද  ඔහු කළේ යළි යළිත් එය කියවීමය.


''සමාවෙන්න හශාන් අපි දෙන්නගේම හොඳටයි මං මේ තීර්ණය ගත්තේ අම්මලා කියන දෙයකට පිටින් යන්න මට බෑ. කැම්පස් එකේ මට වැඩිය හොඳ උගත් ගෑනු ළමයි ඇති ඔයාට මට වැඩිය හොඳ කෙනෙක්  ලැබෙයි. ඔයාගේ අනාගතයට සුබ පතනවා.''

ඇයි එය එවා තිබුණේ එපමණකි. ජීවිතය ම ඇවිලීමට ඒ හොඳටම ඇතිය. හදවතේ ගැස්ම වැඩි කරමින් නොසිතූ මොහොතක ලැබුණු ඇමතුම ‍රශ්මි වේවායි හශාන් සිතින් මිමිණුවේය. එහෙත් දුරකථන තිරයේ සටහන්ව තිබුණේ තරිඳු කියාය.

''මොකෝ බං ගෙදර ආවමවත් ටිකක් නිදා ගන්න දෙන්නේ නැත්තේ?

 හෂාන් විඩාබර හඬකින් ඇමතුමට සම්බන්ධ වූයේය.

 ''මචං හෙට උදේ අපේ ගෙදර වරෙන් රූමෝටික ඔක්කොම එනවා. වැකේශන් එකේවත් ගල් ගෙම්බෝ වගේ ඉන්න බැහැනේ වරෙන් හොඳේ''

 පිළිතුරු දීමටත් පෙර තරිඳු ඇමතුම් විසන්ධි කර හමාරය.  හශාන්ගේ හොඳම මිතුරාය. විශ්වවිද්‍යාලයේ දී හමුවූ ලගම හිතවතාය. එකම පීඨයක අධ්‍යන කටයුතු කරන මොවුන් නේවාසිකාගාරය ද එකම කාමරයේ සිටින ගජයෝය. රශ්මිගේ හා හශාන්ගේ  සම්බන්ධය අකුරක් නෑර  තරිඳු දැන සිටියේය. හැල්මේ දුවන ගවයන් මෙන් දේශනවලට යාමත් පැවරුම් වැඩ නිසා හෙම්බත්ව සිටි මොවුන්ට දෙසතියක නිවාඩුව නිවහනක් වෙති.  සිදු වූ සියල්ල අමතක කර හිත හදා ගැනීමට මහත් වෑයමක් දරමින් සිටී හෂාන්ට මෙම ගමන මහඟුඅවස්ථාවක් සේ දැනුණි.


පසුදා පහන් වන තුරු නොඉවසිල්ලෙන් දගතකළ හෂාන් අනතුරුව නගරයට ගොස් කෑගල්ල බස් රථයකට ගොඩ විය. ඉතාම මනස්කාන්ත පෙදෙසකි. නගරයේ ගිනි අව්වට රත් වූ ශරීරය කෑගලු සුළඟට නිවුනාක් මෙන්.  සිසිල් සුළඟ ගත දැවටී සිතේ වේදනාව ද ඩැහැගෙන යන අපූරුව. ගමනාන්තයට ලගා වන විට මිතුරාට ඇමතුමක් දුන් ඔහු  බස් රථයෙන් බැස ලොතරැයි කූඩුවක් සමීපයේ සිට ගත්තේය. විනාඩි කිහිපයකින් තරිඳු යතුරුපැදියෙන් හශාන් ද රැගෙන සුන්දර වෙල් යායත් පසුකරමින් කුඩා එහෙත් සුන්දර වූ නිවසක් අද්දර නැවතුණි.

කා බී විනෝදයෙන් දවස ගෙවූ මිතුරන් පසුදින  උදෑසන යතුරු පැදිවලින් අසු පැනි ඇල්ල දෙසට ගමන් කළේ ස්නානය කිරීමේ අදහසිනි.  හෂාන්, තරිඳු, ටිෂාන්, ලහිරු සමග අතු පැණි ඇල්ල සමීපයේ ජීවත්වූ තරිඳුගේ හසල මිතුරෙකු ද ගමනට එක් විය. පැය කීපයක් ම සිනහවෙමින් විහිළු කරමින් පිහිණමින් විනෝද වූ පස් මිතුරන් අසු පැනි ඇල්ල ගලා එන කන්ද මුදුන එනම් රාස්සව කන්ද තරණය කිරීමට කතිකා කරගත්හ.

 ''හැබැයි කොල්ලනේ ඔය කන්දේ යක්කු හිටියලු ඉස්සර. ආවොත් අපි දන්නෑ''
 තරිඳුගේ පාසල් මිතුරකු වූ නිපුන් ගමන අතරතුර පවසන්නට විය.

'' උඹ තමයි ඉන්නේ එකම යකා''

 මිතුරන් සියල්ලෝම සිනාසෙන්නට විය. එහෙත් හෂාන්ට එහි සැඟවුණු අදහස දැන ගැනීමේ මහඟු ආශාවක් ඇතිවිය.

'' මොකක්ද බං මේ යක්ෂ කතාව?''

 හෂාන්ගේ ඉල්ලීම් පරිදි නිපුන් ගම්මු පවසන කතාව කියන්නට විය.

'' ගමේ මිනිස්සු ඉස්සර මේ කන්ද මුදුනට ගිහින් ගොවිතැනට ඕනි වෙන උදලු, දෑකැති ඉල්ලලා කන්නලව් කරාලු. පහුවදාම ඒ උදලු දෑකැති කන්දෙන් හම්බුනාලු මිනිස්සු ඒවා ප්‍රයෝජනයට අරන් ආපහු ගිහින් කන්දෙන් තිබ්බාලු. මෙහෙම පරම්පරා ගානක් ම මේ විදියට පුරුදුවෙලා හිටියලු.  එක මිනිහෙක් කන්නලව් කරලා ගත්තු උපකරණ ආපහු ගිහින් දුන්නෙ නැහැ එදා ඉඳන් කන්දෙන් උපකරණ ලබා දෙන එක  නැවතිලා කියලයි කියන්නේ  ''

''ඉතිං ''

 කතාවට බාධා කරමින් හෂාන් නොයෙකුත්  ප්‍රශ්න ඉදිරිපත් කරන්නට විය.

''කාලෙකට පස්සේ කන්ද මුදුනේ යකඩ තැලන සද්දේ ඇහුන නිර්භීත තරුණයෙක් කන්දට ගියා ඒ ගැන හොයන්න. කන්දේ හිටිය යක්කු ඒ මිනිහව මරලා. තවත් කාලෙකට පස්සේ  යකඩ හා රිදී පාස්සන විදිය දැනගන්න මිනිස්සු තුන්දෙනෙක්ම කන්දට ගිහින්. මේ මිනිස්සුන්ගෙන් දෙන්නෙක් යකුන්ට අහුවෙලා. බේරුණු එකම මනුස්සයත් යක්ශ බයකින් ලෙඩ වෙලා  මැරිලා.  එදා ඉඳන් කන්දට එන මිනිස්සු කන එක යක්කුන්ගෙ පුරුද්දක් වුනාලු. ඉතින් මේ කන්දට රාස්සව කන්ද කියල නම හැදිලා තියෙන්නේනේ අන්න ඒ නිසයි.

 '' ශා නියම කතාව ඒක''
 කතාවෙන් කතාවෙන් සුමිතුරන් කන්ද මුදුනටම ගමන් කර අවසන් ය. හෂාන්ගේ කන් වැසුණු අමුතු හඬට ඔහු තවත් හොදින් සවන් දෙන්නට විය.

''තරිඳු ඇහුනද සද්දෙේ''

 සියල්ලෝම නැවතී නැවතී එයට කන් දෙන්නට විය. ඒ ගස් කපන හඬකි දඩාං........ බඩාං.......  හඬ නඟමින් මහා ගස් බිම හෙළන හඬ තවත් තවත් ලගින් ඇසෙන්නට විය.

 ''අන්න මිනිහෙක් මේ පැත්තට එනවා''

  නිපුනගේ හඬට සියල්ලෝම ගස් පඳුරු අතර සැඟවීය. ගසක් අද්දරට මුවා වි මුත්‍රා කළ මිනිසා ආපසු යන්නට හැරුණි. ඒ අසල වාඩියක් ද තනා තිබූ අතර එයින් දුමක් ද නිකුත් වන අයුරු ඔවුන්ගේ නෙත ගැටුණි.

 ''රාස්සව කන්දේ ගස් කපන්න තහනම් මේ කරන්නේ නීති විරෝදී වැඩක්''

 ''නිපුන් අපි මේක පොලිසියට කියමු''

 සියල්ලෝම එකඟතාවකඟතාවයෙන් පොලිසියේ හදිසි වැටලීම් ඒකකයට ඇමතුමක් ගැනීමට මොවුන්ට සෑහෙන්න වෙහෙසක් දැරීමට සිදුවුයේ  දුරකථනය විටින් විට විසන්ධිවීම හා සිග්නල් නොමැතිවීම නිසාය. යම් ප්‍රමාණයකින් වුවද පොලිස් නිලධාරීන් හතර පස් දෙනෙකු  පැමිණ එම ස්ථානය වැටලූහ. මෙම තරුණයන්ට ස්තුති කළ පොලිස් නිලධාරීන් සැකකරුවන් මාංචු දමා රැගෙන ගියහ.

  මහා වීරවික්‍රම කළ පිරිසක් මෙන් රාත්‍රී කෑම මේසය රසවත් වූයේ රාස්සව කන්දේ සිදු වූ සිදු වීමෙනි. හෂාන්ගේ කඳුළු අතීතයද ද මේ ගමනත් සමග වැළලී යන්නට විය.

    ''රාස්සව කන්දේ තාමත් යක්කු''

 මිතුරන් සියල්ලෝම මහ හඬින් සිනාසෙන්නට විය.

Comments

Popular Posts